ඉතිහාසය -
සුදු වැලි තලාවකින් සමන්විත අර්ධ කවාකාර වෙරළ තීරයකින් හා ගල්පර වලින් සැදුම් ලත් දර්ශනීය මුහුදු තීරයකින් මායිම් වු තංගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, කිරම ඔයෙන් පහස ලත් නිල්වන් කෙත් යායකටද උරුමකම් කියයි. දිර්ඝ ඉතිහාසයකට නෑකම් ඇති දකුණු ගිරුවා පත්තුවේ පිහිටි, ග්‍රාම නිලධාරි වසම් 72කින් සමන්විත හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාලතම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකි.
ස්වභාවික වරායක් පිහිටිම නිසා එදා රුවල් ආධාරයෙන් තරණය කල නැවියන්ට පවා තංගල්ල අතිශයින් වැදගත් වු කේන්ද්‍රස්ථානයක් වී තිබූ බව දැක්වෙන අතීතය ඉතා දිර්ඝ වුවකි. එය නානාවිධ ජනප්‍රවාදයන්ගෙන් පොහොසත් වුවකි.
වෙළදාම සදහා භාරතයෙන් පැමිණි තපස්සු භල්ලුක නම් වෙළද දෙබෑයන් තංගල්ල වරායෙන් ගොඩ බැස නවාතැන් ගෙන, ඔවුන් රැගෙන ආ රන් කරඬුවක තැන්පත් කරන ලද සර්වඥ කේශ ධාතුන් වහන්සේලාට වැදුම් පිදුම් කර නැවත වඩම්මා ගෙන යාමට සැරසීමේදි රන් කරඩුව තැන්පත් කළ ස්ථානයෙන් ආපසු ගත නොහැකි වී ඇති බවත්, මේ නිසා ගල් කැබලි එක් කොට චෛත්‍යයක් සේ සකසා තබා වැදුම් පිදුම් කොට ඔවුන් නැවත ගිය බවත් ජනප්‍රවාදයේ සඳහන්වේ.
රනින් කරන ලද කරඬුවක් නිසා ‘රන්’ යන්නත්, ගල් කැබලි වලින් වසා තැබිම නිසා ‘ගල’ යන්නත් එකතු වි රන්ගල වී ඇති බවත්, පසුකාලීනව තංගල යනුවෙන් සැකසී ජනවහෙර්දි පහසුව පිණිස ලකාරය ද්විත්ව විමෙන් තන්ගල්ල වී ඇති බවත්, පසුව ‘තංගල්ල’ යනුවෙන් සැකසුන බවත් බොහෝ පැරැන්නන්ගේ අදහසයි.
ගිරිඛණ්ඩශිව කුමාරයා විසින් අස්වද්දන ලද ප්‍රදේශය කීරකඩ රට හෙවත් ගිරිවාය හෙවත් තුරුවාය වී ඇති බවත් ග්‍රාම රාජ්‍ය ක්‍රමය භාවිතයේදි රෝහණ නැමති කුමාරයාට රෝහණ දේශය භාර වු බවත් එම ග්‍රාම රාජ්‍යයේ ප්‍රධාන පාලක මධ්‍යස්ථානය වුයේ තංගල්ල බවටත් බොහෝ මත පල වී ඇත.
විල්ගම්මුල්ල සංඝරාජ මාහිමිපාණන් විසින් රචිත සිංහල බෝධිවංශය නම් වු ග්‍රන්ථයේ ඇතුළත් තංගලු වෙහෙරට බටහිර වනවාස විහාරය යන්නෙන් හා කහකුරුලු සංදේශයේ “බලා පලා යමි තංගලු වැල්ලෙයා” සහ නීල කොබෝ සංදේශයේ ‘තංගලු වැල්ලට මතුර’ යන කාව්‍යන්ගෙන් තංගලු ඉතිහාසයේ ඉපැරණි භාවයට ලිඛිත සාක්ෂ්‍ය සපයයි.
තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් සර්වඥ කේශ ධාතුන් වහන්සේලා සහිත කරඬුව තැන්පත් කළ ස්ථානයේ තංගලු මහ වෙහෙර පැවති බවත්, එය ලන්දේසීන්ගේ ග්‍රහනයට හසු වීමෙන් විනාශ වී ඇති බවටත්, බොහෝ සාක්ෂි පවතින බව බහුතරයගේ අදහසයි. එම ප්‍රදේශය අද ග්‍රාම නිලධාරී වසමක්ව පවතින කොටුවේගොඩ සහ කොටුගොඩැල්ල යන නම් වලින් හදුන්වනු ලබන බව ජනප්‍රවාදයේ පවති. අදත් තංගලු වරාය අභියස ජිවමානව ඇති බෝධින් වහන්සේ මෙම විහාරයට අයත් බෝධියකින් හටගත් අංකුරයකින් සැදුන බව පොදු ජනතාවගේ පිළිගැනිමයි. තවද දෙවන පෑතිස් රජතුමන් විසින් තංගලු වනවාස විහාරස්ථානයේ රෝපණය කරනු ලැබු බව සඳහන් වන දෙතිස් ඵල ශ්‍රි මහ බෝධි රජාණන් වහන්සේ තංගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට පමණක් නොව රුහුණු ජනතාවටද භාග්‍යයකි.
මිණිකිරුළ රජතුමා තංගලු පුරාණයේ කිර්තිමත් නාමයක් තබා ගිය ශ්‍රේෂ්ඨ රජෙකු වශයෙන් ඉතිහාසයේ ලියවි ඇත. තංගල්ල පොළොම්මාරුවේ වනවාස කුඩා විහාරයේ චෛත්‍ය රාජයා එතුමාගේ කාර්යයක් බව පිළිගන්නා අතර තංගල්ල පල්ලිකුඩාව ප්‍රදේශයේ මැලිගාතැන්න නමින් ප්‍රකට ස්ථානයේ ඔහුගේ රජමාලිගාවක් පැවති බවද ප්‍රදේශවාසින් විශ්වාස කරති. කහ කුරුලු සංදේශය හා නීල කොබෝ සංදේශයේ මිණිකිරුළ රජතුමා ගැන ලියවි ඇති අතර, සිටිනාමළුව ප්‍රදේශයේ ඔහුගේ මාලිගයක් තිබු බවද සදහන් වේ .
දැනට තංගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නලගම බටහිර ග්‍රාම නිළධාරි වසමේ නවයාලවිල ජලාශය පිහිටි භුමි භාගයේ මිණිකිරුළ රජතුමාගේ වස්තූන් නිධන් කර ඇති බවද පැරැන්නන්ගේ මතයකි. එමෙන්ම එම රජතුමා වෙත නාට්‍යාංගනාවන් රැගෙන ආ ප්‍රදේශය නළගන පසුකාලිනව නළගම වු බවද ඔවුන්ගේ මතයයි.
පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන විදේශිය ආක්‍රමණයන්ට හසු විම නිසා වෙරළ ආශ්‍රිත කලාපයක් වු තංගලු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඔවුන් තබා ගිය දෑ තවමත් ශේෂව ඇත්තේය. ඈත අතීතයේ පටන් මුස්ලිම්වරු වෙළදාම සදහා ශ්‍රි ලංකාවට පැමිණි බව සනාථ කරමින් තංගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේද කොටුවේගොඩ, පල්ලිකුඩාව යන මුහුදු ආශ්‍රිත ග්‍රාම නිලධාරි වසම් වල ඔවුන් පදිංචිව සිටිති. එමෙන්ම බෞද්ධ‚ ක්‍රිස්තියානි හා මුස්ලිම් යන ආගම් අදහමින් මෙම වැසියන් ජිවත් වු බවට අතීතය සාක්ෂි දරයි.
තවද වර්තමානයේදි ප්‍රසිද්ධියට පත් කලාතුරකින් දක්නට ලැබෙන රමණීය දර්ශනයක් වු ස්වභාවිකව පිහිටි හුම්මානයද විදේශිකයන්ගේ ආකර්ශනයට ලක්වී ඇත.
















